විෂය - බුද්ධ ධර්මය
ගුරුභවතා - කුමාරගම විමලරංසි හිමි
පාඩම - සසර දුකත් දුකින් මිදීමත් උගන්වන හේතු ඵල දහම
පන්ති පැවැත්වූ දිනය - 2020.05.28
වේලාව - පෙ.ව. 08.00 -පෙ.ව. 10.00
.........................................................
සුභ උදෑසනක් දරුවනෙ
සසර දුකත් දුකින් මිදීමත් උගන්වන හේතු ඵල දහම
මෙ ලිපිය කියවන්න
උපුටා ගැනීමකි
නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ
දොමනස්සුපායාසා සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස
දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති.
ඉහත සඳහන් කළේ පටිච්ච සමුප්පාදය නම් වූ හේතු ඵල දහමයි. අවිද්‍යාව ඇතිකල්හි සංඛාර ඇත. සංඛාර ඇති කල්හි විඤ්ඤාණය ඇත. විඤ්ඤාණය ඇති කල්හි නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන හය ඇත. ආයතන හය ඇති කල්හි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්හි ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදී වූ සියලුම දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.
ගින්න නිසා දුම ඇතිවන්නාක් මෙන් ද, ගස නිසා ගෙඩිය ඇතිවන්නාක් මෙන්ද, තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇතිවන්නට හේතුවන්නාවූ මෙම හේතුඵල දහම පටිච්ච සමුප්පාදයයි.
දිනක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මෙම පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරු වූවත් මට එය පහසුවෙන් වටහා ගත හැකි දෙයක් ලෙස පෙනෙනවා. එය ඓශ්චර්යයක්.” යනුවෙන් ප්‍රකාශ කළ සේක. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ, “මා හෙවං ආනන්ද අවච, මාහෙවං ආනන්ද අවච” “ ආනන්ද එසේ කියන්න එපා. ආනන්ද එසේ කියන්න එපා.” යනුවෙන් දෙවරක්ම වළක්වා “ආනන්ද මේ පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරුයි. මේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි සත්වයෝ සසර පුරාම දුගතියේම සැරිසරනවා” යැයි දේශනා කොට වදාළ සේක.
පටිච්චසමුප්පාදය යනු හේතුඵල ධර්මයකි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය හේතුඵල දහමකි. “යේ ධම්මා හේතුප්පභවා” යනුවෙන් අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුදහම මුළුමනින්ම කැටිකර දැක්වීමකි.
සත්ව ශරීර රුධිරයෙන් සමන්විත බව අපි දනිමු. එම රුධිරය නමැති ඵලය ඇතිවීමට හේතු කාරකයන් බොහෝ ගැබ්ව ඇත. රුධිරය සෑදීමට ආහාර අවශ්‍යයි. ආහාර සෑදීමට ශාක අවශ්‍යයි. ශාක සෑදීමට පස්, ජලය, හිරු එළිය සහ වාතාශ්‍රය අවශ්‍යයි. එසේනම් රුධිරය නම් වූ සතර මහා ධාතු සංකලනය තුළ ඇත්තේ පස්, ජලය, ගිනි, සුළංය. එසේනම් මෙම ශරීරය සෑදී ඇත්තේ සතර මහා ධාතූන්ගේ සංකලනයකින් බව අවබෝධ නොවන්නේ අවිද්‍යාව නිසාය. මරණයෙන් පසු පොළොවේ පස්ගොඩටම එකතුවන ශරීරය නමැති පස්ගොඩ ‘මම’ යනුවෙන් අල්ලා ගැනීම නිසා ජරා, ව්‍යාධි මරණ ආදියට හා ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සුපායාසා ආදියට පත්වේ. අවිද්‍යාව තිබෙනතුරු මෙය අවබෝධ කිරීම අපහසුයි. පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරු බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම නිසයි. පෘතග්ජන පුද්ගලයා අවිද්‍යාව නිසා රාග ද්වේශ, මෝහ, ගිනිදැල්වලින් වට වී සිටියි. බුදුරජාණන් වහන්සේ “සබ්බෙ පුථුජ්ජනා උන්මත්තකා” යනුවෙන් දේශනා කළේ එම නිසයි. උමතුවෙන් සිටින අයට මෙය තෝරා බේරා ගැනීම අපහසුයි.
සියලු සංසාරගත සත්වයෝ මහලුවීම, ලෙඩවීම, මරණය, ශෝක වීම, වැළැපීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් සමඟ එක්වීම ආදී අනේක දුක්ඛයන්ට පත්වෙති. මෙයට හේතුව නොදන්නා තැනැත්තා ලෙඩදුක් සෑදීම ආදිය හුදෙක් සෘතු විපර්යාසය සහ ආහාරයේ බලපෑම ආදිය නිසා සිදුවන බවට හේතුදක්වයි. තමන් දකින දෙය තුළින්ම නිගමනයට පැමිණෙන මෙම පුද්ගලයා මෝහයට නැතහොත් මුළාවට පත් වූ අයකු ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සියලු දුකට හේතුව ඉපදීම බවයි. මෙම ඉපදීම නිසා ඇතිවන දුක නැතිකිරීමට යා යුතු නියම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව උන්වහන්සේ අවබෝධ කළ සේක.
ඉපදීම නමැති ඵලය ඇතිවීමට හේතුව සෙවීමේ දී බුදුන් වහන්සේ දුටුවේ ඉපදීමට හේතුව කර්ම එක් රැස් කරමින් භවය සකස් කිරීම බවයි. සත්වයන් උපදින ස්ථාන වශයෙන් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, සදෙව්ලොව, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක ආදිය උන්වහන්සේගේ බුදු ඇසට දර්ශනය විය. මෙසේ භවය සකස් වන්නේ කුමක් හේතු කොටගෙන දැයි සොයා බැලීමේ දී භවය සකස්වන්නේ දැඩිලෙස ඇලුම්කිරීම, නැතහොත් බැඳීම, ග්‍රහණය කර ගැනීම නිසා බව පෙනුණි. මෙය උපාදාන කරගැනීමයි.
ක්‍රම සතරකට උපාදානය හටගනී. කාමයන්ට ආශාවන්ට තදින් බැඳිම කාම උපාදානය වශයෙන් හඳුන්වයි. තෘෂ්ණාව මෙයට ප්‍රධානවශයෙන් හේතු වෙයි. නොයෙක් දෘෂ්ටිවලට තදින් බැඳීම දිට්ඨි උපාදානය ලෙස හැඳින්වෙයි. ‘අන්ඒවා හිස්ය, මෙයම පරම සත්‍යයයි’ දැඩිකොට ගන්නාවූ සකල දෘෂ්ටින් දිට්ඨි උපාදානයයි. නොයෙක් ව්‍රතයන්ට බැඳීම සීලබ්බත උපාදානයයි. සසර දුකින් අත්මිදීමට නිර්වාණය සඳහා සත්‍ය මාර්ගය පෙන්වා දුන් තථාගතයාණන් වහන්සේගේ ධර්මය නොදත් අය ගවයන්මෙන් සතර පයෙන් ඇවිදිමින් ගෝව්‍රතය රකිති. සුනඛයන් මෙන් කුක්කුර ව්‍රතය රකිති. මෙසේ ශරීරයට දුක් දෙමින් දිව්‍ය ආත්ම, බ්‍රහ්මආත්ම ලැබීමට නොයෙක් වැරැදි ව්‍රත රකිති. අවිද්‍යාව නිසා මේ පිරිස් දුගතිගාමි වෙති. මමය, මාගේය, මගේ ආත්මය වශයෙන් බැඳී සිටීම අත්තවාද උපාදානයයි. සිතීම, කතාකිරීම, ක්‍රියා කිරීම ආදියෙන් සිත කය දෙකට අධිපතිකම් කරමින් එක් එක් සන්තානයක් පාසා පවතින්නා වූ ආත්මයක් ඇතැයි දැඩිව ගැනීම අත්තවාද උපාදානයයි. යමක් ග්‍රහණය කළේ නම් එම ග්‍රහණයෙන් මිදීමට ග්‍රහණයට හේතුව සොයා එය නැති කළ යුතුයි. කාම, රූප, අරූප භවයන් ඇතිවීමට හේතුවන්නේ මෙම ග්‍රහණයයි. නැතහොත් උපාදානයයි.
මෙම උපාදානයට හේතුවන්නේ තෘෂ්ණාවයි.එනම් ආශාවයි. මෙය කාම, භව, විභව වශයෙන් ආකාර තුනකි. තෘෂ්ණාවට හේතුවන්නේ විඳීමයි. එය සැප, දුක් හා මධ්‍යස්ථ වශයෙන් තෙවැදෑරුම් වෙයි. ස්පර්ශයට හේතුවන්නේ ආයතනයි. ඇසෙන් රූපද, කනෙන් ශබ්දද, නාසයෙන් ගන්ධද, දිවෙන් රසද, ශරීරයෙන් ස්පර්ශයද, මනැසෙන් අරමුණු ද ස්පර්ශ කරයි. මෙම ආයතන හය ඇති කරන්නේ නාම – රූපයි. නාම රූපයන්ගේ එකතුවක් වන පංචස්කන්ධය යළි යළිත් හටගන්නේ අවිද්‍යාව නිසයි. එනම් මුළාව නිසයි. චතුරාර්ය සත්‍යය නොදැනීම, අතීත පංචස්කන්ධය නොදැනීම, අනාගත පංචස්කන්ධය නොදැනීම, අතීත අනාගත පංචස්කන්ධ දෙකම නොදැනීම, හේතුඵල දහම නොදැනීම යනු අවිද්‍යාවයි.
අවිද්‍යාව නිසා පංචස්කන්ධයට රැවටෙයි. එය මමය, මාගේ ය, මගේ ආත්මය වශයෙන් උපාදානකර ගනී. එම උපාදානය නිසා සංසාරයේ තෙරක් නොදැක ඇවිදියි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ රූපය පෙනපිඬුවක් මෙන් මොහොතින් විනාශවන බවයි. වේදනාව දියබුබුලක් මෙනි. සංඥාව මිරිඟුවක් බඳුය. සංඛාර කෙසෙල් කඳක් මෙනි. අවසානයේ කිසිදු හරයක් සොයාගත නොහැකිය. විඤ්ඤාණය විජ්ජාකාරයකු වැනි ය. නැති දෙයක් ඇති හැටියට පෙන්වා මුළා කරයි.
සියුම්ව විග්‍රහකරන විට අපගේ සිත යථාපරිදි පාලනය කර ගැනීමට නොහැකිවන්නේ අවිද්‍යාව නිසා බව පෙනී යයි. විද්‍යාව පහළ කරගෙන පටිච්ච සමුප්පාදය හොඳින් හඳුනාගෙන නිවනේ දොරටු විවරකරගැනීමට අදිටන් කර ගනිමු.
හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය
හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්. බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. [හේතු ප්‍රත්‍ය ඇසුරින් හට නොගන්නා දෙය තමයි නිර්වාණය. ඒ ගැන මේ ලිපිය අන්තිමට වෙනම පොඩි විස්තරයක් අඩංගුයි] . මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි. මේ අතුරු හේතු ඉවත් වුණත් ප්‍රධාන හේතුව ඉවත් නොවන තාක් කල් ඒ දෙය සිදුවීමේ/හටගැනීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අඳුරු තැනක තිබ්බොත් සරුසාරව නොවුණත් අඹ ගසක් හැදෙන්න පුලුවනි. නමුත් යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ.
බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක් නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). සසර දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ. දුක් වලට හේතු තේරුම් අරන් ඒ හේතු නැති කිරීමෙන් තමයි සසර දුකින් මිදෙන්න පුලුවන්.
දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම (ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙච්ච සහ ඉස්සරහට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි. තමන්ගෙ ජීවිතේ දුකක්, වේදනාවක්, තරහක්, අප්‍රසන්න බවක්, අසරණ බවක් දැනිච්ච වෙලාවල් ගැන හිතල බලන්න. ඒ හැම වෙලාවක්ම මේ කාරණා වලින් එකක්.
ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල විස්තර කර දක්වන ධර්මය තමයි හේතු- ඵල දහම කියන්නෙ.
හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණනක් තිබෙනවා, එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම උඩදි කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා.
හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ. අවිද්‍යාව මුල් කරගෙන හේතුඵල දහම විස්තර කරන මේ ක්‍රමය අනුලෝම පටිච්ච සමුප්පාදය කියාත් හැඳින්වෙනවා.
අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.
නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී
සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හටගනී
වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී
උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හටගනී
භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ
ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.
අවිද්‍යාව - අවිද්‍යාව කියන්නේ නොදැනීම . දුක, දුකට හේතුව , දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි අවිද්‍යාව කියන්නේ
සංඛාරා - සංඛාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතන සංඛාර කියන වචනයේ තේරුම චේතනා කියන එක. අවිද්‍යාව නිසා ඇතිවන කුශල හා අකුශල චේතනා මුල් කර ගත් කර්මයන් සංස්කාර ලෙස හැඳින්වෙනවා.
විඤ්ඤාණ - විඤ්ඤාණ කියන්නේ දැනීම. ඇස, කන, නාසය, දිව , ශරීරය මනස යන ඉන්ද්‍රියයන්ට දැනෙන දැනීම චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ.. ආදී ලෙසින් හැඳින්වෙනවා. අපි පෙනීම , දැකීම, ගඳසුවඳ දැනීම යනාදී ලෙසින් හඳුන්වන්නේ මේ විඤ්ඤාණයන්.
නාම රූප - සියළුම සත්වයන් නාම රූප වල එකතුවක්. තවත් විදිහකින් කිවුවොත් සිතක සහ කයක එකතුවක්. බාහිරින් පෙන්නන්න පුලුවන්, ස්පර්ශ කරල බලන්න පුලුවන් කයට රූප කියල කියනවා. එහෙම පෙන්නන්න බැරි නම් කිරීම පමණක් කරන්න පුලුවන් කොටස් වලට නාම කොටස් කියල කියනවා. වේදනා, සඥා සංස්කාර, විඤ්ඤාන කියන කොටස් 4 තමයි නාම වශයෙන් හැඳින්වෙන්නේ. මේ කොටස් පහේ එකතුව හෙවත් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පහ පංච උපාදානස්කන්ධ කියලත් හඳුන්වනවා. " සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියල දුක්ඛ ආර්ය සත්‍යයේ කියවෙන්නෙත් මේ පංච උපාදානස්කන්ධයමයි. සැකෙවින්ම කිවුවොත් සත්ත්වයාම තමයි දුක.
සලායතන - නාම රූප නිසා හට ගන්නා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන හය සලායතන නමින් හැඳින්වෙනවා.
ඵස්ස - ඵස්ස කියන්නේ ස්පර්ශය කියන එක . අපිට බාහිර පරිසරය, බාහිර සත්වයන් සමඟ ස්පර්ශය ලැබෙන්නේ කලින් කියපු ඇස, කන, නාසය, දිව , ශරීරය හා මනස කියන ආයතන හරහා.
වේදනා - වේදනා කියන්නේ විඳීම. විඳීම් වර්ග 3 යි සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ උපේක්ෂා වේදනා.
තණ්හා - සුඛ, දුක්ඛ හා උපේක්ෂා වේදනාවන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව. සුඛ වේදනා විඳින විට ඒ ගැන තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳින කොට ඒවා නොවිඳ සිටිමේ තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳල යම් තරමක සැනසිල්ලක් ලැබෙන උපේක්ෂා වේදනාවක් ලැබුණොත් "තිබ්බ හැටියට මේකත් ඇති" කියන තණ්හාව ඇති වෙනවා.
උපාදාන - තදින් අල්ලා ගැනීම හෙවත් බැඳීම උපාදානය ලෙස හඳුන්වනවා. මුලින්ම තණ්හාවක් උපදින දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් එය තද බැඳීමක් බවට පත් වෙනවා.
භව - උපාදානය නිසා කර්මානුරූපව සකස් වන රූප භව, අරූප භව, කාම භව යනාදිය මෙයින් කියවෙනවා.
ජාති - කර්මානුරූප භවයක් සකස් වීම නිසා ඉපදීමක් සිදු වෙනවා.
ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වෙනවා.
කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් ඉංග්‍රීසි V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්තු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතුඵල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ.
තව කාරණයක් තමයි මේ එක් එක් දේ වලට එකම හේතුව මේ දක්වා තිබෙන ඒවා නොවන බව. මේ දක්වා තිබෙන්නේ ප්‍රධාන හේතු අතර සම්බන්ධතාවය පමණයි. ප්‍රධාන හේතු සහ අතුරු හේතු සියල්ලම දැක්වුවහොත් එකිනෙකට පැතලී ඇති තණකොළ මුල් ජාලයක් වගේ අපැහැදිලි වන නිසා තේරුම් ගැනීමේ පහසුවට මේ විදිහට දක්වා තිබෙනවා.
No comments:
Post a Comment