විෂය - බුද්ධ ධර්මය
ගුරුභවතා - කුමාරගම විමලරංසි හිමි
පාඩම - බුදු දහමෙන් හෙලිවන සිතීමෙ හා විමසීමේ නිදහස
පන්ති පැවැත්වූ දිනය - 2020.05.10
වේලාව - පෙ.ව. 08.00 -පෙ.ව. 10.00
.........................................................
ආයූබෝවන් දරුවනේ
අද බුද්ධ ධර්මය පාඩමට සූදානම් වෙමු
අද පාඩම බුදු දහමෙන් හෙලිවන සිතීමෙ හා විමසීමේ නිදහස
පාඩම 9 පිටු අන්ක 69
මෙ ලිපිය හැමෝම කියවමු.
සිතීමේ නිදහස අගයන සම්බුදු දහම
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මහෝත්තමයාණන් වහන්සේ ගෞතම බුදු පියාණෝය. සියලු සත්වයන්ට හිත පිණිස සුව පිණිස සැප පිණිස ලොව පහළ වූ උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝ සත වෙත, සසරෙන් එතෙර වීමේ මාර්ගය පෙන්වා දුන් සේක. බුද්ධියෙන් විමසා බලා අවබෝධ කර ගැනීමේ නිදහස පුද්ගලයාට ලබා දුන් බුදුදහම විශ්ව ව්‍යාප්ත වූවක් බවට පත්ව ඇත්තේ එහි පවතින මෙම සර්ව සාධාරණ ගුණය නිසාය.
බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ, ඇවිත් බලා සුදුසුනම් පිළිගත හැකි ධර්මයකි. (ඒහි පස්සික) සැකය ඉතා බියකරුය. යම් පරමාර්ථයක් ඉලක්කයක් කරා යෑමේදී සැකය ඈත් විය යුතුය. සැකය ඇති විට ඊළඟ පියවරට නිසි ලෙස ළංවිය හැකි නොවේ. තමන් වහන්සේ ගැන වුවද ගෞරවය, භක්තිය, ආදරය නිසා නොපිළිගන්නා ලෙසත්, රන්කරු රත්රන්වල ස්වභාව උරගා බලා දැනගන්නාක් මෙන් සොයා බලා විමසා උචිත නම්, නිවැරැදි නම්, පිළිගත හැකි නම් පමණක් පිළිගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ වදාළ බැව් සඳහන් කළ යුතුවේ. ශාස්තෘන් වහන්සේ වුවද විමසිල්ලට විචාරයට ලක් කළ හැකි බව පෙන්වීම උන්වහන්සේගේ විශිෂ්ටත්වයත්,ශ්‍රාවකයාට ලබාදුන් විමසීමේ නිදහසත් මනාව පෙන්වන්නකි. විමංසක සූත්‍රයේදී උන්වහන්සේ එසේ දක්වා ඇත. වේතෝඛීල සූත්‍රයේදී සැකය නිසරු අනර්ථකාමී වූවක් බව පෙන්වා දෙයි. සමහර බලවේග නිසා නියම සත්‍යයට මුහුණ පෑමට සමහරු මැලිකම් දක්වති. බුදු හිමියන් දේශනාකොට වදාළ පරිදි මේ බලවේගයනට යට නො විය යුතු බවත්, පටු දෘෂ්ටීන් ඉවතලා යථාර්ථය කරා පැමිණිය යුතු බවත් පෙනේ.
‘කත්වානි තෙ රාහුල කායේන කම්මං කාදේව තෙ කාය කම්මං පච්චවෙක්ඛි තබ්බං’ ආදි ලෙස අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ කරන සඳහනින් ප්‍රත්‍යවේක්ෂාව ගැන දැක්වෙයි. බලයෙන් කරුණු කාවද්දන සිරිතක් බුදුසමයෙහි නැත. සිතා මතා විමසා බලා ප්‍රත්‍යක්‍ෂ නම් පමණක් පිළිගත හැක්කේ බෞද්ධ ධර්මයයි. බුදුරදුන් වදාළේ නුවණැත්තන් තෙමේම ප්‍රත්‍යක්ෂ කොට දැන ගත යුත්තකි. අතේ මැණිකක් ඇතැයි කියතොත්, එක්වරම පිළිනොගෙන අත මැනැවින් බලා, ඇඟිලි කරු අතර පරික්‍ෂා කොට තමාම ඒ පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් ප්‍රත්‍යක්ෂ වන්නේ නම් පමණක් ඒ පිළිගැනුම විය යුතුය.
මිනිසා යනු මනැස උසස්ම තත්ත්වයට පත් කළ හැකි සත්වයාය. සෑම සත්වයාටම මනැසක් ඇතත් එය දියුණු කිරීමක් නොපෙනේ. නියම මිනිසා මොහොතක් පාසා මනැස දියුණු කරන්නේය. සිතාමතා යමක් කළ හැක්කේ ඔහුටය. ඔහුට සිත දියුණු කරමින් උසස් තත්ත්වය ලැබිය හැකිය. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ ආදි ලෙසත් උන්වහන්සේ වදාළ සේක.ඥානවන්ත මිනිසුන් විසින් බුදුදහමෙහි සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගනු ලැබිය යුතු යයිද ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි’ යනාදි ලෙසින් බුදුපියාණෝ වදාළහ. හුදු විශ්වාසය නොව බුද්ධිය මුල්කරගත් බුදු දහමෙහි වැදගත් ලක්ෂණයක් නම්, සිතා මතා නුවණින් කල්පනා කළ හැකි වීමයි. මෙහිදී තමන් විසින් ඇති කර ගනු ලබන අවබෝධය වැදගත්ය. බුදුහිමියෝ තම අධිෂ්ඨානය, උත්සාහය, කැපකිරීම, වීර්යය, තුළින්ම ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. උන්වහන්සේගේ මඟ අනුගමනය කරන කවර බුද්ධිමතකුට වුවද බුද්ධත්වය ලැබිය හැකිය. බුද්ධිමත් මනුෂ්‍යයකු විසින් කලක් මුළුල්ලේ කරනු ලැබූ පර්යේෂණ ඔස්සේ ලත් උසස්ම බුද්ධිඵලය වන බුදුදහම ප්‍රත්‍යක්ෂ කර ගත හැක්කේ බුද්ධිමත්ව ක්‍රියාකිරීමෙන් පමණි. සිත සියල්ලටම ප්‍රධානය. සිතින් සිතා විමසා තීරණ ගත හැක්කේය. ඊට පූර්ණ අවකාශ බුදුදහමේ වේ. බුද්ධ ධර්මය දඹදිව පහළ වු කල විවිධ දෘෂ්ඨීන් හි එල්බගෙන සිටි අනේකවිධ පුද්ගලයන් හා උන්වහන්සේට සාකච්ඡා පවත්වන්නට සිදුවිය. තර්ක කරන්නට සිදුවිය. එහෙත් කිසිවිටෙකත් උන්වහන්සේ තම මතය නිවැරැදිය, එයම පිළිගත යුතුයැයි ද එල්බ නොගත් සේක. කාහටත් එහි නිවැරැදි බව, යෝග්‍ය බව, වැටහුණේ නම් පමණක්, ඒ පිළිගැනීමට ඉඩ තිබුණි.
නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ශ්‍රාවක උපාලි ගෘහපති බුදුරදුන් හා කළ සාකච්ඡාවෙන් පසු බෞද්ධ උපාසකයකුවීමට සූදානම් විය. බුදුරදුන් වදාළේ ඔබ වැනි ප්‍රධාන පෙළේ ශ්‍රාවකයකු මෙලෙස ඉක්මන් නොවිය යුතු බවත්, සිතා මතා තවදුරටත් කල්පනා කොට තීරණ ගත යුතුබවත්ය. උපාලි ගෘහපති යළිත් තැත්කරන විට, ඔබ එසේ වන්නේ නම් පෙර පරිදි ශාස්තෘ නිඝණ්ඨනාථ පුත්‍රයන්ටද ගෞරව කළ යුතු බවත් වදාළ සේක. (මජ්ඣිම නිකාය-උපාලි සූත්‍රය)
අශෝක රජුගේ සෙල්ලිපිවල පවා තම ආගමට ගෞරව කරමින් අනෙකුත් ආගම්වලටද ගෞරව කිරීම ගැන කරණු දක්වයි. (xii පර්වත ආඥා ලිපිය) මේ නිදහස් සහනය බෞද්ධ ධර්මයේ දීප්තිය තවත් වැඩි කරලයි.
පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ගැන යම් සැක ඇත්නම් , විචාරණ ලෙස සිය ශ්‍රාවකයන්ට දැන්වූ සේක. ශාස්තෘන් වහන්සේ ජීවත්ව සිටියදී විමසා සැක දුරුකර ගැනීමට අවස්ථාවක් නොලැබුණේ යැයි පසුව කනගාටුවට නොපැමිණිය යුතුයැයිද වදාළ සේක. ප්‍රශ්න නොවිමසන්නේ තමන් වහන්සේ කෙරෙහි ගෞරව හේතුවෙන් නම් ප්‍රශ්න යහළුවකුට හෝ දන්වා එමඟින් විමසා ගත හැකි බව පෙන්වා දුන්හ. (දීඝ නිකාය-මහා පරිනිබ්බාණ සූත්‍රය) උන්වහන්සේගේ ධර්මය ඉතා පැහැදිලිව දේශනා කළ අතර, ගුරු මුෂ්ටි වශයෙන් යමක් නැති බවද සිහිපත් කළ සේක.
කොසොල් රට කේසපුන්න ගමට වැඩි බුදුරජාණන් වහන්සේ හමුවීමට කාලාම නමින් හැඳින්වෙන මගධ වැසියෝ පිවිසුණහ. කේසපුන්න ගමට පැමිණෙන නොයෙක් ශාස්තෘන් තම ඉගැන්වීම් ඉදිරිපත් කරමින් ඒ සත්‍ය බවත් අන්‍යයන්ගේ ඉගැන්වීම් අසත්‍ය බවත් විස්තර කරන අතර කාගේ අදහස සත්‍යයද කාගේ අදහස අසත්‍යදැයි සැකයක් ඇතිවන බවත් බුදුපියාණන්ට සැලකළහ. කාලාම පුත්‍රයන් ඇමතූ බුදු රදහු “ කාලාමයෙනි, තොප සැකකිරීමත් විමතියට පැමිණීමත් සුදුසුමය. ආරංචියෙන් හෝ, පරම්පරාවෙන් ආ නිසා හෝ එය මෙලෙස යනුවෙන් කටලු කථාවෙන් ආ නිසා හෝ තර්ක හේතුවෙන් හෝ නය හේතුවෙන් හෝ මෙය යහපත් ලෙස පෙනේයයි කල්පනා කිරීමෙන් හෝ අප දෘෂ්ඨිය හා සැසඳෙතියි හෝ මොහු සුදුස්සකුයැයි සැලකීමෙන් හෝ, මොහු අපේ ගුරුවරයා නිසා හෝ, නොපිළිගන්නා ලෙසත් පැවසූ බුදුරදහු “කාලාමයෙනි, මෙය අයහපත්ය, අකුසල්ය, වරද සහිතය, නුවණැත්තන් විසින් ගර්හිතය, අවැඩ පිණිසය, දුක් පිණිසය යනාදී ලෙස තොපට වැටහේද එකල්හි එය දුරුකරව. එසේම යම් විටක මේ දේ යහපත්ය, කුසල්ය, නිවැරැදිය, වැඩ පිණිස සැප පිණිස පවතීයැයි ආදි ලෙස තොපට වැටහේ ද එයම පිළිගනුව” යි වදාළ සේක. (අංගුත්තර නිකාය -කාලාම සූත්‍රය)
කාලාම පුත්‍රයනට දුන් පිළිතුර, බුදුසමයේ නිදහස් චින්තනයට කදිම නිදසුනකි. මෙබඳු ප්‍රකාශනයක් අන් කවර ආගමකවත් නොමැත. කිසිම ශාස්තෘන් වහන්සේ නමක විසින් ප්‍රකාශ කරනු ලැබ නොමැත.
බුද්ධධර්මය දැඩි කොට අල්වාගෙන කර තබාගෙන ඇවිදීමට වූවක් නොවේ. එය කෙනකුට ග¼ගකින් එගොඩවීමට උපකාරි වන පහුරක් ලෙසින් සැලකිය යුතු වේ. ගඟ තරණය කිරීමට ගනු ලබන පහුර ගඟෙන් එගොඩ වූ පසු කර තබාගෙන ඇවිදීම මෝඩකමකි. කළ යුත්තේ පහුර ගඟ ඉවුරේ තබා යාමයි. ධර්මය, පහුරක් මෙනි. සංසාරයෙන් එගොඩවීමට එය ඉවහල් කරගත යුතුවේ. ඒ බව බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයෙහි වදාළ සේක.
බුදුසමය, පුද්ගලයාට ප්‍රධානත්වයක් දෙයි. තමන් සිදුකරන හොඳ නරක සියල්ලෙහි විපාක ඔහුට විඳින්නට සිදුුවේ. පින්පව්, කුසල් අකුසල්, හොඳ නරක ගැන මනා අවබෝධයක් ලැබිය හැක්කේ ඔහුටමය. ඔහු කරන කියන දෑ අනුව පල විපාක ලැබේ. “තුම්මෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා “ (ධම්ම පදය -මාර්ග වග්ගය) බුදුරජාණන් වහන්සේ එසේ වදාළේ’ තෙපි තොපම කටයුතුය. තථාගතයෝ මඟ කියා දෙන්නාහුය’ වශයෙනි. කිසිවෙකුගේ යටත් බවකට බුදුරජාණන් වහන්සේ කිසිවෙකු පත් නොකළ බැව් මින් පැහැදිලිය. තමාගේ ස්වාමියා තෙමේමය. තමාගේ ගැලවුම්කාරයා තෙමේම ය.හොඳ වන්නෙත් තෙමේ ය. නරක වන්නෙත් තෙමේ ය. අන්‍යයින්ගේ ක්‍රියා පිළිවෙළකින් නොවේ. ස්වෝත්සාහයෙහි ගුණ වැනූ උන්වහන්සේ උත්සාහය හා වීර්යය ඇත්නම් කාහටත් ඉදිරියට යා හැකි බව පෙන්වා දුන්හ. ක්‍රමවත් සැලසුමකට අනුව ක්‍රියා කිරීමෙන් උසස් ඵලනෙළා ගත හැක්කේ මිනිසාට පමණි. හැම කෙනෙකු තුළම දියුණුවීමට අවශ්‍ය ශක්තිය ඇත. මනුෂ්‍යයකුව ඉපිද, උසස්ම තත්ත්වයට පත්ව ආ අයුරින් එම ශක්තිය පෙන්වා දුන් සේක. තමන්ට තමන් විනා අන්කවරකුගේවත් පිහිටක් නොවේයයි “අත්ථාහි අත්තනෝ නාථෝ කො හි නාථෝ පරොසියා “ (ධම්මපදය -ආත්මවර්ගය) යනුවෙන් වදාළ සේක.
වර්තමාන තරුණ පෙළ පිළිගනුයේ බුද්ධිගෝචර සත්‍යයක් පමණි. ඔවුන් බුදුදහම ගැනද නොයෙක් විමසීම් කරනු පෙනේ. ආගමික වශයෙන් කළ යුතු රහස් කටයුත්තක් බුදුදහමේ නැත. නිදහස ගරු කරන අපරදිග වැසියා ද බුද්ධ ධර්මයේ ඇති මෙම අපූර්ව නිදහස නිසාම බුදුදහම ගැන දැන් වඩාත් සැලකිල්ල යොමුකරනු පෙනේ. භෞතික දියුණූවෙන් දිනපතා ඉදිරියට එන අපරදිග ලෝකයා ගතානුගතිකත්වයෙන් ඉවත් වී තමන්ගේ නිදහස් සිතුවිල්ලට මුල්තැනක් දෙන ආගම් ගැන සොයන අයුරු පෙනේ. බුදුන් වහන්සේ ඉන්දියානු ජන ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කළ සේක. බ්‍රාහ්මණයින්ගේ අසීමිත බලයට මුහුණ පා සිටි, ගතානුගතිකත්වයට පුරුදුව සිටි, ජනතාවට සම්පූර්ණ නිදහස ලබා දුන්සේක. ජාති, කුල, ගෝත්‍ර ආදි නොයෙක් විවිධත්වයක් ගත් සමාජයක බුදුසමය පැතිර ගියේ ,ජනපි‍්‍රයවූයේ එහි ඇති අපූර්ව නිදහස නිසාය. අන්‍ය ආගම්වල මෙන් බුද්ධධර්මය ලොව පැතිර ගියේ බලයෙන් නොවේ. නිදහස් චින්තනයට එහි ඇති ඉඩකඩ නිසා මය.
ලෝකය විවිධ ය. විසම ය. සංකීර්ණය. බලකාමයෙන් වියරු වැටී ඇති ලෝකයෙන් සාමය, සදාචාරය, සභ්‍යත්වය ආදිය බැහැරවෙමින් පවතී. දුකින් ලත් මිනිසත් බවේ අගය නොවැටහෙන බව පෙනේ. සෑම තැනම ගැටුම්ය. මමත්වය යම්තාක් තදින් ග්‍රහණය කර ගන්නේද ඒ තාක් ගැටුම් පවතී. අද ලොව නවීන විද්‍යා හා තාක්ෂණික ඥානය අතින් ඉහළය. මහා දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් පඬිවරයා පවසන්නේ, මිනිසා යම්තාක් දුරට ප්‍රඥාවන්ත වේ ද ඒ තාක් මේ තත්ත්වය හිතකර බවත් නොඑසේ නම් අහිතකර බවත්ය. එනම් දැනුම සමඟම ප්‍රඥාවද සමාන්තරව යායුතු බවයි.
මිනිසා තම නවීන විද්‍යා හා තාක්ෂණික ඥානය උපයෝගී කරගෙන පුද්ගලයා හා සම්බන්ධ ප්‍රශ්නවලට විසැඳුම් සෙවුවද සාර්ථක ලෙස නිරාකරණය කිරීමට නොහැකි වී ඇත. පිළියම් ඇත්තේ බුද්ධධර්මයේය. ලෝකයේ උණුසුම් ප්‍රශ්න විසඳා ගැනීමට බුදුසමය ඉවහල් කරගත හැකිය. බාහිර මෙන්ම අභ්‍යන්තර වූ සියලුම මිනිස් ගැටලුවලට විසැඳුම එමඟින් සොයාගත හැකිය.
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
පාඩමේ අභ්‍යාස වලට අමතරව මෙ ටික කරන්න
Audio Track🔊