Sunday 3 May 2020

සංගීත





විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................
සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම. 2 වාරයට නියමිත 5 වන පාඩමට අපි සූදානම් වෙමු.මෙම පාඩම් සටහන ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කරගන්න.

නූර්ති නාට්‍ය කලාව ක්‍රි.ව. 1880 දී කේ.එම්.බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය ක්‍රි.ව.1750 දී "අලඝනායිදු" දකුණු ඉන්දියානු සංගීතවේදියා විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නූර්ති නාට්‍ය සංගීතය සදහා උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතයේ ආභාසය ලැබී ඇත.නාඩගම් නාට්‍ය සංගීතය සදහා දකුණු ඉන්දීය කර්ණාටක සංගීතයේ ආභාසය ලැබී ඇත.නෘර්ති නාට්‍ය සංගීතයට හින්දුස්ථානී රාග තාල පාදක වී ඇති අතර නාඩගම් නාට්‍ය සංගීතයට කර්ණාටක සංගීතයෙහි රාග හා තාල පාදක වී ඇත.හින්දුස්ථානී සංගීතයෙහි කාෆි,භෛරවී,ආශාවරී,ජෞනපුරි,කමාජ් හා යෙමන් යන රාග හා දාදරා,කෙහෙර්වා, පන්ජාබ්,දීප්චන්දි,කෙම්ටො යන හින්දුස්ථානී තාල මත නෘර්ති ගී නිර්මාණය වී ඇත.දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයෙහි හනුමන්තෝඩි, ධීරශන්කරාභරනම්, කරහරප්‍රිය,හරිකාම්බෝජ,නටභෛරවී යන රාග හා පසම්,තිර්ලානා,වඩිමුඩි,තංගපාට,චාපු යන කර්ණාටක තාල මත නාඩගම් ගී නිර්මාණය වී ඇත.නූර්ති නාට්‍ය අංග සම්පූර්ණ වේදිකාවක් මත රග දැක්වූ අතර නාඩගම් නාට්‍ය රග දක්වන ලද්දේ පොළව මට්ටමේ සිට උස්ව සාදන ලද "කරළිය" නම් ස්ථානයෙහිය.

නූර්ති නාට්‍ය සංගීතයෙහි ප්‍රධාන ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස "හාර්මෝනි‍යම්

(සර්පිනාව) ද ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාව යොදා ගන්නා ලදී.නාඩගම් නාට්‍ය සංගීතයේ දී ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස මද්දලය යොදා ගත් අතර ස්වර වාද්‍ය භාණ්ඩ ලෙස හොරණෑව,සර්පිනාව යොදා ගන්නා ලදී.

නූර්ති නාට්‍ය ගීත වල අනන්‍ය වූ සංගීතාංගයක් ලෙස "දොහොරාව"(Adlib) යෙදෙන අතර නාඩගම් නාට්‍ය ගීත වල අනන්‍ය සංගීතාංගයක් ලෙස "උරුට්ටුව"යෙදෙනු ඇත.දොහොරාව යනු තාලයක්‍ රහිතව ගැයෙන ගීත කණ්ඩයකි.උරුට්ටුව යනු නාඩගම් වලදී ගීතයේ වේගවත්ව ගයනු ලබන ගීත කණඩයකි.

නාඩගම් නාට්‍ය ගීත වල පොතේඉන්නිසය,තෝඩායම,පොතේවිරිදුව හා ගද්‍ය පාඨ ද යන සුවිශේෂී අංග ඇතුලත් වන අතර නූර්ති නාට්‍ය ගීත වල වැඩි වශයෙන් දක්නට ඇත්තේ නාට්‍යයේ තේමාවට අනුව නිර්මාණය වූ ගීතයන් වේ.

නාඩගම් නාට්‍ය බොහොමයක් ක්‍රිස්තියානි ආගමික කතා පුවත් අතර නූර්ති නාට්‍ය බෞද්ධ හා ඓතිහාසික කතා පුවත් හා විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.හින්දුස්ථානී ස්ථායී අන්තරා ගී ආකෘතියක් නූර්ති නාට්‍ය ගීත වල පැහැදිලිව දැක ගත හැකි වන අතර නාඩගම් නාට්‍ය ගීත වල එවැනි ආකෘතිමය ස්වරූපයක් නොමැත.නාඩගම් නාට්‍ය කොටසේ වශයෙන් රාත්‍රී 7ක් පමණ එක දිගට නැරඹිය යුතු අතර නූර්ති නාට්‍ය එකම දින පැය 2 පමණ කාලයක් තුළ රග දක්වනු ලබයි.නූර්ති නාට්‍ය ගීත කර්ණ රසායන මධුරතා ගුණයෙන් යුක්ත වූ අතර නාඩගම නාට්‍ය ගීත එළිමහන් වේදිකාවක මද්දලයේ ධ්වනිය ශුතිය ලෙස ගෙන උස් හඩින් ගායනා කල බැවින් ගීත වල කඨෝර,රළු ස්වභාවයකින් යුක්ත විය.

නාඩගම් නාට්‍ය වල ප්‍රධාන චරිතාංග ලෙස "පොතේගුරු" (සූත්‍රධාරී) ,බහුභූතයා,සෙල්ලම් ළමා යන චරිත දැක්විය හැක.නූර්ති නාට්‍ය වල විවිධ නාට්‍යයන්හි තේමාවට අනුව චරිතාංගයන් යෙදේ.නූර්ති නාට්‍ය සංගීතවේදීන් ලෙස විශ්වනාත් ලව්ජි,අබ්දුල් සතාර්,ජඨා ශංකර් යන අය නූර්ති නාට්‍ය ගීත වලට තනු නිර්මාණය කර ඇත.නාඩගම් නාට්‍ය සංගීතවේදීයෙකු ලෙස " අලඝනායිදු" දැක්විය හැක.සිංහල නූර්ති නාට්‍ය කලාවේ පියා ලෙස "සී.දොන් බස්තියන්" කලාකරුවා ගෞරවයට පාත්‍ර වේ.ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නූර්තිය "රොලීනා" වේ. නාඩගම් නාට්‍ය කලාවේ පියා ලෙස පිලිප්පු සිංඣෝ මහතා ඉතිහාසයට එක්වනු ඇත. ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නාඩගම " ඇහැලේපොළ" නාට්‍ය වේ.

ප්‍රචලිත නූර්ති නාට්‍ය කෘති ලෙස, සිරිසගබෝ,වෙස්සන්තර,ශ්‍රී වික්‍රම රාජසිංහ,දුටුගැමුණු,
හේමමාලි,රාමායණය,
විදුර,පද්මාවතී,ඔතෙලෝ,උත්තරරාම,සකුන්තලා,රොලීනා යනාදී නාට්‍ය කෘති ලෙස දැක්විය හැක .ප්‍රචලිත නාඩගම් නාට්‍ය කෘති ලෙස,ඇහැලේපොළ,

ඉයුජින්,බ්‍රම්පොඩ්,බැලසන්ත,සිංහවල්ලි,රජ තුන් කට්ටුව,සදකිදුරු ආදී නාට්‍ය කෘති දැක්විය හැක.

* නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස පහත වගුව ඇසුරෙන් සංසන්දනාත්මකව ඔබට අධ්‍යයනය කල හැක.



ඉහත දක්වා ඇති පාඩම නිවැරැදි සටහන් කරගනිමින් අධ්‍යයනය කරන්න.




















































සියලුදෙනාටම තෙරුවන් සරණයි.

ආයුබෝවන් 🙏








1 comment: