Saturday, 2 May 2020

බුද්ධ ධර්මය




විෂය         -     බුද්ධ ධර්මය
ගුරුභවතා -   කුමාරගම විමලරංසි හිමි
පාඩම       -   දියුණුවෙ හා පිරිහීමෙ දොරටු
පන්ති පැවැත්වූ දිනය -  2020.05.02
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

.........................................................

Good morning දරුවෝ හැමෝටම

බෞද්ධ ආර්ථික දර්ශනය ලොවට දේශනා කිරීම
බෞද්ධ ආර්ථික දර්ශනයෙහි ධනයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ධනයේ උදව්වෙන් පුද්ගල ඡීවිතය සැපවත් කරගතයුතු බව, පිනවියුතු බව බුදුසමය පිළිගනියි. යහපත්ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය, අඹුදරු,නෑදෑහිතමිතුරන්ට, අසල්වාසීන්ට තමසිතැඟිලෙස සංග්‍රහකළහැකිබවදක්වයි.යහපත්ආර්ථිකයක්නොමැති නැත්තාට, නිතරම ශෝකයෙන්, කාන්සියෙන් කාලය ගෙවීමට සිදුවේ. යහපත් ආර්ථිකයක් ඇත්තාගේ ඡීවිතය සුරක්‍ෂිත වෙයි. යම්කසි කරදරයක්, විපතක් ආවිට ඔහුට, තමාට ධනය ඇතැයි සතුටු වියහැක. එ‍හෙත් යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට ‍ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණි කල්හි ඵයින් මිරිකී ගැලවීමේ ක්‍රමයක් නොමැතිව දුක්විඳීමට සිදුවේ.බුදුදහම සෑමවිටම යහපත් ආර්ථිකයක් සකසා ගතයුතු බව දක්වයි.

බුදුදහම ආර්ථික සුරක්‍ෂිතතාවෙහි අගය දන්නා දහමකි. ඵයහුදු පරලොවම සලකා දේශනා කරන ලද දහමක් නොවේ. ‍මෙලොව පරලොව උභයාර්ථයම අරමුණු කරගෙන දේශනා කරන ලද දහමකි. "දිට්ඨ ධම්ම සුඛ" එනම් මෙලොව යහපත තකකර "සම්පරාඉක සුඛ" හෙවත් පරලොව යහපත පමණක් සෙවීමට මිනිසා උනන්දු කල දහමක් නොවේ. එනම් "උභයත්ථං" දෙලොවම අභිවෘද්ධි සාධනයට උනන්දු කල දහමකි.

බුදුදහමේ පරලොව යහපත සඳහා මෙලොව යහපත පූඡා කළ යුතු බවක් කිසිවිටෙක නොඋගන්වයි. ආර්ථික සුරක්‍ෂිත තාවයකට හිමිකම් නොකියන තැනැත්තා නිතරම අසහනකාරීව ඡීවත් වෙයි. ඔහුට "කුසල් දහම්" කිරීමටවත් අවශ‍්‍ය "මානසික සන්සුන් බවක්" නැත. එසේම සමාඡ වගකීම් ඉටුකිරීමටවත් සරිලන ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔහුගේ දිවිය අතිශයින් කටුක වෙයි. මේ හේතු සාධක නිසා "දුප්පත්කම" ගිහි ඡනයාට දුකට කාරණයක් බව බුදු දහම පෙන්වාදෙයි. එය,

"දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"

යනුවෙන් දක්වා ඇත.

මෙයින් අදහස් වන්නේ, ධනය මිනිසාගේ ඡීවිතයේ වැදගත් පුරුෂාර්ථයක් බවත් නොවන වග අවධාරණය කළ යුතුව ඇත. ධනය නිෂ්ටාවක් (Goal) නොව, යම් නිෂ්ටාවක් සාධනය කර ගැනීමට ඇති මාධ්‍යයක් (Means) පමණි. හුදු ධනය පමණක් ගොඩගසා ගැනීමෙන් ප්‍රීතිය ළඟා කරගැනීමට නොහැකිය. ධනය ඇති තැනැත්තා තමා කා, බී ප්‍රීති වෙයි. එය "අත්තානං සුඛේති පීණේති" යනුවෙන් හැඳින්වේ. එසේම තම දෙමාපියන්, අඹුදරුවන්, ඥාතිමිත්‍රාදීන්, සේවක සේවිකාවන්ද පිනවයි. එසේම ආගමික උතුමන්ටද සංග්‍රහ කරයි. බුදු දහමට අනුව තමා ලද ධනයෙන් තමනුත් සැපවත් වී, අන් අයත් සැපවත් කිරීමට අනුදැන වදාළයි. ධනය යනු මිනිසාගේ උපකරණයකි, සේවකයකි. මිනිසා එහි ස්වාමියාය. ධනයට ගැතිව, දාසව, සමාඡයට අනර්ථකාරීව ඡීවත්වීම බුදුදහම අනුමත නොකරයි. එය,

"භෝගේ අගථි‍තෝ අමුච්ඡිතෝ අනඡ්ඣාපන්නෝ ආදිනව දස්සාවි"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය ඉතා හොඳ දෙයකි. ධනය කොතරම් හොඳ වුවත් නරක පුද්ගලයා අතට ඒ ධනය පත්වූ කළ ඒ ධනයම භයානක දෙයක් බවට පත් වෙයි. මිනිසාට හානිකර දෙයක් බවට පත්වෙයි. මේ හේතු නිසා ධනය, ධාර්මිකව, අධාර්මික නොවී නිශ්පාදනය කළ යුතු බව දක්වයි. බුද්ධිමත් ලෙස ධනය පරිහරණය කිරීම, ප්‍රශංසා ලැබිය යුතු කටයුත්තක් බවත්, තණ්හාව පෙරටු කොට ගෙන කරන ධන පරිහරණය, බෞද්ධ ආර්ථික දර්ශනය හෙළා දකින අතර, ධනය පිළිකුල් නොකරයි. ධනය ධාර්මිකව උපයා පරිභෝග කළ යුතු බව දක්වයි.

ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ. ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව කලුරිය කළ හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, වැදගත් කාරණයකි.

බුදුදහම ධනය ඉපැයීමට විරුද්ධ නැත. එහෙත් එය ධාර්මිකව පරිහරණය කළ යුතු බව දක්වයි. බෞද්ධ ආර්ථික දර්ශනයේ දී, ලෞකික සැප ගැන බුදුන් දේශනා කර ඇත්තේ, "තමාට ධනය ඇති බව සිතීම" සැපතක් බවයි. බුදුන් වහන්සේ ඒ ධනය රැස් කරගතයුතු ආකාරය මෙසේ දක්වයි.

"උට්ඨාන විරියාධි ගතා -බහා බල පරිචිතා- සේදා වක්ඛිත්තා-ධම්මිකා ධම්ම ලද්ධා භෝගා"' යනුවෙනි. එනම්, උත්සාහයෙන්, විර්යයෙන්, බාහු බලය යොදවමින්, දහඩිය හෙළීමෙන්, ධාර්මික රැකියාවල නිරත වෙමින්, ධනය රැස්කළ යුතුය.

එසේම, ගිහියන් ලෙස ඡීවත් වීමට යෝග්‍ය වන්නේ මල නොතලා රොන් රැස්කරන බඹරෙකු සේ, ධනය රැස්කරන අය බව සිඟාලෝවාද සූත්‍රය සඳහන් කරයි."භෝගේ සංහර මානස්ස - භමරස්සේව ඉරියතෝභෝගා සන්නිච යං යන්තී - වම්මිකෝ වූප චීයතීඒවං භෝගේ සමාගන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහී"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය. "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,

1.කෘෂිකර්මය 2. වෙළඳාම 3. පශු පාලනය 4.ධනු ශිල්පය 5. රාඡ්‍ය සේවය 4. ශිල්ප කලා'

එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම

ඉහත දක්වන ලද, නොකළ යුතු වෙළදාම් පහෙන් ඈත්ව, එනම් "මිත්‍යා ආඡීව" ගණයට වැටෙන පහත් ක්‍රියා වළින් ඈත්ව, ධාර්මික ඡීවන වෘත්තියක නියැලී, ධාර්මිකව ධනය රැස් කරගතයුතු බව, බුදු දහම දක්වයි.

Audio Track🔊

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති

බුදු දහම පිළිබඳව ගැඹුරට නො හැදෑරූ අපරදිග උගත්තු බුදු දහම සර්වාශුභ දර්ශනයක්, බුදු දහම පරලොව පමණක් සලකන ආගමක් ආදි මති මතාන්තර ඇති කළහ. එහෙත් එහි සත්‍යාසත්‍ය තාවය අද ලොවටම පසක් වී ඇත. බුදු දහම,අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ දක්වනුයේ සංස්කාර ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය එය බැවිනි. මේ යථා ස්වභාවය දක්වා පසු තැවෙන්නට යි කිසි තැනෙක උගන්වා නැත. අත්ථී සුඛය ඇති වීමට සම්පත් රැස් කළ යුතු බවත්, ලෝකයාට ණය නොවී ජීවත්වීමට ධනය ඉපැයිය යුතු බවත්, වතු පිටි ඉඩ කඩම් සපයා ගෙන භෝග සුඛය ඇති කර ගත යුතු බවත් මේ සැම දෙයක්ම නිවැරදිව කොට අනවජ්ජ සුඛය ලබා ගත යුතු බවත් බුදු දහමින් පෙන්වා දී ඇත.

දෙලොව දියුණුවට හේතු වන කරුණු දක්වා ඇති වැදගත් සූත්‍රයෙකි. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය බුදුරජාණන් වහන්සේ “කෝලිය” ජනපදයෙහි කක්කරපත්ත නියම් ගමෙහි වෙසෙන සමයෙක “ දීඝජානු” කෝලිය පුත්‍රයා බුදුරදුන් වෙත පැමිණ,භාග්‍යවතුන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන අපි කාමභෝගි වෙමු. එහෙත් අපටද මෙලොව සැප පරලොව ශුභ සිද්ධිය අවශ්‍යය. එසේ හෙයින් අපටද දෙලොව දියුණුව පිණිස පවත්නා දහමක් දෙසනු මැනවැයි ඉල්ලා සිිටියහ. බුදුපියාණෝ දීඝජානු කෝලිය පුත්‍රයාට මෙලොව දියුණුව පිණිස පවත්නා උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන කරුණු සතර ද සද්ධා සම්පදා , සීල සම්පදා , චාග සම්පදා , පඤ්ඤා සම්පදා යන කරුණු හතර පරලොව දියුණුව පිණිස පවතින බවත් පෙන්නුම් කර වදාළහ.

මෙහි “දිට්ඨධම්මහිතාය” යනුවෙන් දක්වා ඇත්තේ මෙලොව හිත සුව පිණිස හේතු වන කරුණු සතර ය. එයින් පළමු වැන්න “උට්ඨාන සම්පදාව”යි. උත්සාහය මෙලොව දියුණු වීමේදී තිබිය යුතු ප්‍රධාන සම්පත්තියෙකි. තමන් කරන රැකියාව දක්‍ෂ ලෙස කිරීමට හැකියාව ඇතිකරගත යුතුය. අලස නොවී රැකියාවෙහි නියුතු විය යුතුය. කටයුතු කරවීමට සංවිධානයට දක්ෂ විය යුතුය. ඉතා සීතලය. ඉතා ඌෂ්ණය, බඩගිනි වැඩිය. බඩ පිරී වැඩිය ආදි වශයෙන් තම කටයුතු අතපසු නො කටයුතුය. “උට්ඨානවතො භික්ඛවෙ ඛ්මසාදියං” උත්සාහවන්තයාට නො කළ හැක්කේ කුමක් දැයි වරක් බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන්ගෙන් ප්‍රශ්න කොට ඇත. උත්සාහය සෑම පඬිවරුන්ගේ ම උගතුන්ගේම ප්‍රශංසාවට ලක්වූ ගුණයකි.

සෑම දියුණුවකම මූලික පදනම වී ඇත්තේ උත්සාහය යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දෙවැනි කාරණය නම් උත්සාහයෙන් උපයා සපයා ගත් දේ ආරක්‍ෂා කර ගැනීමයි. තම වස්තුව සොර සතුරන් පැහැර ගන්නට ඉඩ නො තබා රාජ්‍ය සන්තක වන්නට ඉඩ නොදී, ගින්නෙන්,ජලයෙන් විනාශ වන්නට නො දී ආරක්‍ෂා කරගත යුතුය. මෙලොව දියුණුවට හේතුවන ආරක්‍ෂා සම්පත්තිය නම් එයයි.

මෙලොව දියුණුවට හේතු වන තුන් වන කාරණය “කල්‍යාණ මිත්තතාව” හෙවත් යහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීමයි. හොඳ නරක පෙන්වා දෙන, වරදින් වළක්වන, ප්‍රමාද වුවන් රකින මිත්‍රයන් ඇත්නම් එය මෙලොව දියුණුවට අතිශයින් අවශ්‍ය කරන සම්පත්තියකි. බුදුරදුන් කල සිටිය මහ ධන සිටු පුත්‍රයාට සිය පාර්ශ්වයෙන් අසූ කෝටියක ධනයද බිරියගේ පාර්ශ්වයෙන් අසූ කෝටියක ධනයද ලැබුණි. ඔහු පාපමිත්‍ර සේවනයට වැටීම නිසා ඒ මුදල් සම්භාරය විය පැහැදම් වී,ගේ දොර ඉඩකඩම් විකිණී හිඟමනට පත්ව අවසන අසරණව මැරී ගියේය.මේ නිසා තමා ඇසුරු කරන අය කෙබඳු අය දැයි සොයා බලා දැනගෙන ඇසුරු කරනවා නම් එය මෙලොව දියුණුවට හේතුවකි.

‘සමජීවිකතාව’ සතර වන මෙලොව දියුණුව ගෙනෙන සම්පත්තියයි. තමාගේ අය හා වැය පරික්‍ෂා කොට අයට වඩා වැඩියෙන් වැය නො කොට අය ප්‍රමාණයට වඩා වැය ප්‍රමාණය අඩුවෙන් කිරීම සමජීවිකතාවයයි.

“ඒකේන භෝගේ භුඤජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”

යනුවෙන් සිඟාලෝවාද සූත්‍රයේදි දක්වා ඇති පරිදි සමජීවිකතාව නම් තමා උපයන ධනය සතර කොටසකට බෙදා එක කොටසක් කෑම් බීම් ආදියටද,කොටස් දෙකක් තමාගේ දියුණුව පිණිස සතර වැනි කොටස විපතකදී ගැනීමට තැන්පත් කර තැබීමද වෙයි.අරපිරිමැස්මෙන් ජීවත්වීම ‘සමජීවිකතාව’ වශයෙන් පෙන්වා දිය හැකිය. මේ මෙලොව දියුණුවට අතිශයින්ම උපකාරවත් වන සම්පත්ති හතරය.

මේ සම්පත්ති විනාශ වන ක්‍රම අපාය මුඛ වශයෙන් හදුන්වා ඇත. එවැනි අපාය මුඛ හතරක් ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙහි සඳහන්ව ඇත. ස්ත්‍රී ධූර්තයෙක් වීම, සුරා ධූර්තයෙක් වීම, අක්‍ෂ ධූර්ථ හෙවත් දූ කෙළියෙහි ඇලෙන්නෙක් වීම පවිටු මිතුරන් ඇසුරු කිරීම යනු ඒ අපාය මුඛ සතරයි.

පරලොව හිත පිණිස පවතින කරුණු නම් “ සද්ධා සම්පදා” - සීල සම්පදා “ – “ත්‍යාග සම්පදාව” හා “ප්‍රඥා සම්පදාවය” යි ශ්‍රද්ධා සම්පත්ති නම් ගුණ දැනගෙන පැහැදී නව අරහාදී බුදුගුණ පිළිගැනීමයි. එම ශ්‍රද්ධාවද ආකාරවති සද්ධා, අමුලිකා සද්ධා වශයෙන් ප්‍රධාන භේද දෙකකි. ආකාරවති සද්ධාව නම් විමසා බලා බුදුගුණ දහම් ගුණ සඟ ගුණ පිළිගැනීමයි. අමුලිකා ශ්‍රද්ධාව නම් විමසීමක් විචාරයක් නැතිව පිළිගැනීමයි.

සීලය වශයෙන් ගිහියන්ගේ නිත්‍ය සීලය වන පංච ශීලය මෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය අදත්තාදානය , කාම මිථ්‍යාචාරය, මුසාවාදය, මදයට, ප්‍රමාදයට හේතු වන රහමෙර පානය යන පංච දුශ්චරිතයෙන් වැළකී සිටීමයි.මෙහි ප්‍රාණඝාතාදියෙන් සම්පූර්ණයෙන්ම වළකින අතර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම පනවා ඇත. ඒ නිසා කාමභෝගී ගිහියන්ට කාමයෙහි නිවැරදිව හැසිරිය හැකිය. එහෙත් කුමර බඹසර – කුමරි බඹසර රැකිය යුතුය.

පරලොව සැප පිණිසතෙ වැනිව පවතින්නේ “ත්‍යාග සම්පත්තිය”යි ත්‍යාගය නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදින්ට දුගී මගී යාචකාදීන්ට දීමයි. එම පරිත්‍යාගයේදි තිබිය යුතු ගුණ වශයෙන් පයතපාණී දන් දෙනු පිණිස නිතර සේදු අත් ඇතිව සිටීම,වොස්සග්ගරතෝ - දිය යුතු දෑ දීමෙහි ඇලුණු සිත් ඇතිවීම, යාචයොගෝ ,යැදීමට, ඉල්ලීමට සුදුසු පුද්ගලයෙක් වීම, දාන සංවිභාගරතෝ ,බෙදාහදා දීමෙහි ඇලුණු කෙනෙක් වීම දක්වා ඇත.

කාමභෝගී පුද්ගලයෙක් පංච කාම සම්පත් නිවැරදිව විඳ ගැනීම පාපයක් නොවේ. එහෙත් තමා විඳින කාම සම්පත්වල අස්සාද ,ආදීනව, නිස්සරණ දත යුතුය. අස්සාද නම් කාම සම්පත් වින්දනයයි. ඒවායෙහි ඵල විපාක දැන ගැනීම ආදීනවයයි. නිස්සරණ යනු විඳිනු ලබන කාම සම්පත් වලින් දුරුවීමට හැකි වීමයි. තමා විඳින පංචකාම සම්පත්තීන්ද අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට හැකිවීම ප්‍රඥා සම්පත්තියයි. පංචකාම සම්පත් අනුභව කිරීමේදී උදුම්බරකාදික, න්‍යාය අත්හළ යුතුය. දිඹුල් කෑමට යන්නා ගහට නැඟ අතු සොලවයි. එවිට මල්, ගැට මෙන්ම ඉදුණු ගෙඩිද වැටෙයි. ඊළඟට ගසින් බැස ඉදුණු ගෙඩි පමණක් කෑමට ගනියි. මෙය දිඹුල් කන්නාගේ ස්වභාවයයි. පංචකාම සම්පත් අනුභව කිරීමේදී මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අත්හළ යුතුය.

“අජද්ධුමාරික” නම් මරණයයි. තමාට අපමණ සම්පත් තිබියදී නිසි පරිදි අනුභව නො කොට මරණයට පත්වීම මෙනමින් හඳුන්වා ඇත. මසුරු සිටාණන් සේ සම්පත් රැස් කරමින් පරිභෝගයට නො ගැනීම බුදු දහම අනුමත නො කරයි. එසේම දුප්පතුන් ධනවතුන් සේ හැසිරීමද නො කළ යුතුය. එසේ වූ විට සිදු වන්නේ අජද්ධුමාරික හෙවත් අනාථ මරණයට පත්වීමටය.

“උභයත්ථ ගාමිණී” ප්‍රඥාව නම් රූප -වේදනා - සංඥා –සංස්කාර – යන ස්කන්ධ පඤ්චකයාගේ අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ස්වභාවය විදර්ශනා ඤාණයෙන් ඇති සැටියෙන් විමසා බැලීමය. එය නිවන් මඟට අතිශයින්ම උපකාරි වන ධර්මතාවයකි.

මෙම ව්‍යග්ඝපජ්ජ සුත්‍රයෙන් ගිහි පුද්ගලයෙකුට දෙලොව දියුණුව සැලසෙන ආකාරයට පංචකාම සම්පත් අනුභව කිරීමේ ක්‍රමය මනාව පැහැදිලි කොට ඇත. එහෙත් සත්ත්වයෙක් දිගටම සසර ගත කිරීම බුදු දහමින් මොහොතකටවත් අනුමත කරන්නේ නැත. එහෙයින් මෙයින් පැහැදිලි කොට ඇත්තේ සම්පත් අනුභව කිරීම තුළින් ආස්වාදය ආදීනවය හා නිස්සරණය දැකීමෙන් නිවන් මඟට ප්‍රවේශ වන ක්‍රමයෙකි. දෙලොව දියුණුවට නියම මඟ නම් එයයි.

කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපැයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත. එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම, මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීමථ සූදුවෙහි යෙදීම, පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි.

බුදුදහම පරලොව දියුණුව පමණක් අරමුණූ කරගත් දහමක් නොවේ. එහි මෙලොව දියුණුවට මුල් තැනක් හිමිවේ. මෙලොව දියුණුව ගැන සාකච්ඡා කිරීමේදී,ආර්ථික (භෞතික) දියුණුවෙන් පමණක් ලබන දියුණුව අංග සම්පූර්ණ එකක් නොවන බව කිව යුතුය. ආධ්‍යාත්මික දියුණුවට එහිදී වැදගත් තැනක් හිමි වෙයි. ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව පමණක් සැබෑ දියුණුවක් නොවේ.

භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් අංග සම්පූර්ණවූත්, සාර්ථක වූත් දිවි පැවැත්මක් සඳහා බුදු දහම මාහැඟි මග පෙන්වීමක් කරයි. එහිදී මහා මංගල සූත්‍ර දේශනාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. මිනිසාගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා මහා මංගල සූත්‍ර දේශනාව ලබා දෙන උපදෙස් මාලාවකි. පස්, පව්, දස අකුසල් ආදියෙන් වැළකී මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා පරිත්‍යාගය , සහජීවනය ආදී ගුණාංග වලින් පරිපූර්ණ වීම සඳහා පුද්ගලයාට එය ප්‍රබල පිටු බලයකි. එම උපදෙස් මාලාව තුළ අධ්‍යාපන දියුණුවට , චර්යාමය දියුණුවට , ආධ්‍යාත්මික දියුණුවට සහ සමාජයීය දියුණුවට අදාළ කරුණු ඇතුළත් වෙයි.

බුදු දහම ප්‍රඥාවන්තයන් සඳහා ය. මිනිසාගේ ප්‍රඥා වර්ධනය සඳහා අධ්‍යාපනය ලබා දිය යුතු ය.

බාහු සච්චංච - බහුශ්‍රැතයකු වීම
සිප්පං - ශිල්ප ඥානය
එහි දැක්වෙන මූලික කරුණු දෙකකි. බහුශ්‍රැත භාවය යන්නෙන් අදහස් කෙරෙන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ය. අතීතයේ පොතපත සුලභ නොවී ය. එබැවින් අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ ගුරු බසට සවන් දීමෙනි. ගුරු බසට අවනතව හොඳින් සවන් දී මෙන්,බොහෝ දේ අසා දැන ගැනීම තුළින් මිනිසාට උගතකු බහුශ්‍රැතයකු වීමේ වාසනාව උදාකර ගත හැකි වෙයි. පොතපත කියවීම මගින්ද එය ලබා ගත හැකි ය. මෙයින් අවධාරණය කැරෙන්නේ මෙලොව දියුණුව සඳහා ශාස්ත්‍රීය දැනුම හා ශිල්පීය ඥානය ලැබීම ය. ඊට කලා ශිල්ප දෑතේ හුරු බව වෘත්තීය පුහුණුව ශිල්පීය දැනුම ආදිය අවශ්‍ය වෙයි. අපේක්ෂා කරන අධ්‍යාපන දියුණුව සලසා ගැනීමට නම්, චර්යාමය දියුණුවක්ද ලබා තිබිය යුතුය. නැණවත්, ගුණවත් සමාජයක් නිර්මාණය කිරීමට නම් අධ්‍යාපන මෙන්ම චර්යා ධර්ම වල ආධ්‍යාත්මික ගුණවල වර්ධනයක් අවශ්‍යය.

එසේ සමාජයේ චර්යාමය දියුණුව සලසා ගැනීම සඳහාම ඉවහල් වන කරුණූ රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේදී දේශනා කර වදාළහ. ඒවා නම්

1. විනයොච සුසික්ඛිතො - විනයගරුක මනා හික්මීමකින් යුක්ත වීම
2.සුභාසිතාච යා වාචා- යහපත් වූ වචන කතා කිරීම
3.අනාකුලාච කම්මන්තා - නිරවුල් කර්මාන්ත ව්‍යාපාර ආදියෙහි නිරතවීම
4. ධම්ම චර්යාව - ධර්මානුකූ®ල හැසිරීම
5. අනවජ්ජානි කම්මානි - නිවැරැදි ක්‍රියාකාරිත්වය
6.ආරති විරති පාපා - පාප ක්‍රියාවලින් මිදීම
7. මජ්ජපානාච සඤ්ඤමො - මත්ද්‍රව්‍ය මත්වතුර, නොගැනීම
8. කාලෙන ධම්ම සාකච්ඡා - සුදුසු කල්හි දහම් ඇසීම
9. කාලෙන ධම්ම සාකච්ඡා - සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම
10. සන්තුට්ඨි - ලද පමණින් සතුටට පත්වීම
11. පුබ්බේච කත පුඤ්ඤතා - පෙර භවයේ කළ පින් ඇති බව

මෙම මංගල කරුණු තුළින් අපේක්ෂා කරනුයේ සිත කය වචනය යන තිදොරින් සිදුවිය හැකි දුශ්චරිතවලින් තොරවූ යහපත් චර්යා ධර්මවලින් අනුන යහපත් සමාජයක් බිහි කිරීම ය. මානව සංවර්ධනය සඳහා දුසිරිත් වලින් දුරුවීමට සමගාමීව සුසිරිත් හුරු කිරීමද අවශ්‍ය වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා විසින් දුරු කළ යුතු ලාමක ධර්ම මෙන්ම හුරු කළ යුතු සුසිරිත් ද දේශනා කර වදාළහ.

දියුණුව සොයා යන්නා, නැවියකු විසින් හසුරුවන නැවක් වැනි ය. පරිහානියට පත්වන පුද්ගලයා නැවියකු නොමැතිව ඒ මේ අත අයාලේ පාවී යන නැවක් බඳු ය. මිනිසා මෙලොව දියුණුව අපේක්‍ෂා කරන්නේ නම් තම ජීවිතය ක්‍රමවත්ව හසුරුවා ගත යුතු ය. ගුණධර්ම ප්‍රගුණ කර ගනිමින් ශික්‍ෂාකාමීව ආධ්‍යාත්මික ගුණ වගා කර ගත යුතු ය. ඒ සඳහා මහා මංගල සූත්‍ර දේශනාව මාහැඟි මඟ පෙන්වීමක් කරයි. ඒ මෙසේ ය.

1.තපො - තපස
2. බ්‍රහ්මචරිය – බඹසර දිවි පෙවෙත
3. අරිය සච්චානදස්සනං - චතුරාර්ය සත්‍ය වටහා ගැනීම.
4.නිබ්බාන සච්චිකිරියාච - සදා සැපත වූ නිවන් අවබෝධය.
5. පුට්ඨස්ස ලෝක ධම්මෙහි, චිත්තං යස්ස න කම්පති – අටලෝ දහමෙහි නොසැලීම.
6.අසෝ කං - ශෝකයට පත් නොවීම
7. විරජං - කෙලෙස් රහිත බව
8. ඛේමං - බිය රහිත නිදහසකට පත් වීම
9. අප්පමාදොච ධම්මේසු - කුසලෙහි නොපමා බව

මෙකී මංගල කාරණා මැනවින් අවබෝධ කොට ගෙන, ඒවා තම ජීවිත තුළ වර්ධනය කරගත් පුද්ගලයා, මෙලොව සතුට ළඟා කර ගනියි. ඒ තුළින්, නිවන තෙක් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැකි ය. ඔහුට සමාජයේ විවිධ පුද්ගලයන් හා ආයතන සමඟ දැහැමි සම්බන්ධතා පවත්වා ගනිමින්, ජීවිත සාර්ථකත්වය ලබා ගැනීමට සිදුවෙයි.ඒ සඳහා මඟ පෙන්වන, මංගල කරුණු රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේ දැක්වෙයි. සමාජයීය අභිවෘද්ධිය සලසන, මංගල කරුණු ලෙස ඒවා මෙසේ දැක්විය හැකි ය.

1. අසේවනාච බාලානං - බාලයන් ආශ්‍රය නොකිරීම.
2. පණ්ඩිතානංච සේවනා - නුවණනැත්තන් ආශ්‍රය කිරීම
3. පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම
4. පතිරූප දේස වාසෝච - සුදුසු පරිසරයක වාසය
5. මාතාපිතූ උපට්ඨානං - මවුපියන් රැක බලා ගනිමින් උවටැන් කිරීම
6. පුත්තදාරස්ස සංගහො - අඹුදරුවන් පෝෂණය
7. දානං - දන් දීම, පරිත්‍යාගය
8. ඥාතකානංච සංගහො - ඥාතීන්ට සංග්‍රහ කිරීම
9. – ගාරවොච – ගරු කළ යුතු අයට ගරු කිරීම
10. නිවාරතාච – නිහතමානී බව
11. කතඤ්ඤුතා - කෘත ගුණ සැලකීම
12. ඛන්ති - ඉවසීම
13. සෝවචස්සතා - කීකරු බව
14. සමණානංච දස්සනං - සංඝරත්නය දැකීම

මෙලොව දියුණූව අරභයා මහා මංගල සූත්‍ර දේශනාව තුළින් මෙන්ම, ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව තුළින් ද ලබා දී ඇති උපදෙස් රාශියකි. භාග්‍යවතුන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාව පවත්වනු ලැබ ඇත්තේ, දීඝජානු නම් කෝලිය සිටු පුත්‍රයා විසින් නගන ලද, පැනයකට පිළිතුරු වශයෙනි. දීඝජානුගේ පෙළපත් නාමය ව්‍යග්ගපජ්ජ යනුවෙනි. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, මෙසේ විමසී ය. ‘ස්වාමීනී’ භාග්‍යවතුන් වහන්ස ගිහියෝ මෙලොව පස්කම් සැප අනුභව කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ කරදර බාධක කම්කටොලු මධ්‍යයේ ජීවත් වෙති.එසේ කරදර බාධක මැද ජීවත්වන ගිහියා කෙරෙහි අනුකම්පාවෙන් මෙලොව පරලොව හිතසුව පිණිස වූ ධර්ම උපදෙස් වදාරන සේක්වා. මෙම ආයාචනය කාරුණිකව ඉවසා වදාළ භාග්‍යවතුන් වහන්සේ, මෙලොව දියුණුවට අතිශයින් ඉවහල්වන කරුණු හතරක් ප්‍රථමයෙන් දේශනා කර වදාළහ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සමජීවිකතා යනු ඒ හතර යි.

එක් එක් පුද්ගලයා සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් ධනයක් උපයා ගත යුතු ය. ඊට යෝග්‍ය වෘත්තියක් තෝරාගෙන අනලස්ව ධාර්මිකව ක්‍රියා කළ යුතු ය.

ඒ උට්ඨාන සම්පදාවයි. එසේ උපයා ගන්නා ධන සම්පත් සොර සතුරු, ගිනි හෝ ස්වාභාවික විපත් ආදියෙන් විනාශවීම වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂාකාරී වීම, ආරක්‍ඛ සම්පදාවේ. තුන්වැන්න නම් තමන් පවින් වළක්වන, සුමගට යොමු කරන බුද්ධිමත්, ගුණවත්, ත්‍යාගශීලී, අවංක කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමයි. (කල්‍යාණ මිත්තතා) අයවැය විමසා දැන නොමසුරුව, නමුත් අර පරිස්සමින් ක්‍රියා කිරීම, ‘සමජීවිකතා’ යනුවෙන් දැක්වෙයි. ගිහි ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා ධනය ඉතිරි කළ යුතු ය. ඒ ගැන දැක්වෙන සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ, ආදායමෙන් හතරෙන් එක් කොටසක් දෛනික දිවි පැවැත්ම සඳහා දෙකොටසක් ආයෝජනය සඳහා ද ඉතිරි කොටස හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද යෙදීම යෝග්‍ය බව දැක්වෙයි.

කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත.

එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීම සූදුවෙහි යෙදීම පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි. එම මඟ පෙන්වීම් අනුව, බුද්ධිමත්ව ජීවිතය සකස් කරගෙන ,නොපසබස්නා වීරයෙන් ක්‍රියා කිරීම පෙන්වා දී ඇත.


Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊













































Audio Track🔊

Audio Track🔊


තෙරැවන් සරණයි

No comments:

Post a Comment